Monday, July 6, 2026

සතුට තියෙන්නේ කොහේද ?

A mindful person protected by a glowing glass sphere in a Buddhist garden

සතුට තියෙන්නේ කොහේද ? 👇

මිනිසුන් වන අපි විතරක් නෙමෙයි සතුන් සිව්පාවුන් පවා සතුටින් ජීවත් වෙන්න කැමතියි. ඒත් සතුටට වඩා අපේ ලඟින් ඉන්නේ දුක බව ටිකක් කල්පනා කර බැලුවහම තේරුම් ගන්න පුළුවන්. සමහර විට අපිට ගොඩාක් සතුට ගෙනාපු අය සහ දේවල් අපි ලඟ අන්තිමට ඉතිරි කරන්නේ දුක විතරයි. සතුටට වඩා දුක අපි ලඟ රැඳෙන්නට හේතු තියෙනවා. ඒ හේතු නැති කලොත් ඔය කියන දුකත් ඒ එක්කම නැතිවෙලා යනවා. බුදු දහම ඇසුරින් මේ හේතු සහ ඒවා නැති කරන හැටි ,සතුට තියෙන්නේ කොහේද ,හැමදාම ඒ සතුට ලඟින් ම තියාගන්නේ කොහොමද කියලා ඔබත් එක්ක ටිකක් කතා කරන්න හිතුවා.

ගොඩාක් වෙලාවට දුකක් ඉපිදෙන්නේ අපි කරන කියන දේවල් වලින් නෙමෙයි .සමාජයේ අනිත් අයගේ ක්‍රියාවන් නිසා.අපි වටා ඝනකම වීදුරු ගෝලයක් මවාගෙන හිටියොත් මේ අවටින් එන අකාරුණික ප්‍රතිචාර වලට අපි ලඟට එන්න බැහැ .කොහොමද ඒ වීදුරු ආවරණය හදාගන්නේ ?.

ව්ශේෂයෙන් ම ඇහැට පේන,කනට ඇහෙන දේවල් සහ දිවට,නාසයට ,කයට දැනෙන අරමුණු නිවැරැදි ව හඳුනා ගත යුතුයි .ඇහැට පේනවා කෙනෙකු අපි දිහා තරහෙන් රවා බලනවා.ඒවගේ ම කනට ඇහෙනවා බොහොම රළු කර්කෂ වචන වලින් අපිට බනිනවා .ඇහෙන් ,කනෙන් කරන්නේ ඒවා දකින ,ඇහෙන එක විතරමයි.ඒ දැකීමට ,ඒ ඇසීමට දුකක් ඇති කරන්න බැහැ .දැක්කට පස්සේ ,ඇහුනට පස්සේ අපේ සිතුවිලි තමයි මොළයෙන් මතක් කරලා දෙන පැරණි මතකයන් එක්ක ගලපමින් ,විවිධ විදිහට සිතුවිලි ඇතිකර ගනිමින් මේ නිකන් ම නිකම් දැකීම සහ ඇසීම ඇසුරින් දුක් උපදවන්නේ.

දාරුචීරිය මහපාරේදී ම මහරහත් භාවයට පත්වෙන්නේ බුදු රජාණන් වහන්සේ ඔහුට දේශනා කල " දැක්කොත් දැක්කා විතරයි ,ඇහුවොත් ඇහුවා විතරයි" කියන සරල එහෙත් ගැඹුරු දහම් පණිවිඩය අවබෝධයෙන් වටහාගෙන .අපිට ගැටළුව වෙලා තියෙන්නේ ඔහුට වගේ අපිට ඕක තේරුම් ගන්න බැරිකමයි .රවනවා දැක්කහම ඒක රූපයක් විතරයි ,බනිනවා ඇහුනහම ඒක ශබ්දයක් විතරයි කියලා ඉවත් කරනවා වෙනුවට මොළයෙන් උළුප්පලා දෙන පරණ මතකයන් එක්ක වෙළි වෙලි සිතුවිලි ලක්ෂ ගණනින් උපදවමින් හිත හිතා බොරුවට දුක් විඳින්නේ අපිමයි.ඒවා ගනන් ගන්නේ නැතුව මට නෙමෙයි වගේ එහෙම පිටින් ම අත් හැරලා දැම්මොත් මොනම දුකක්වත් නැහැ .

ඇයි අපිට ඕක කරගන්න බැරි ? ඒකටත් හේතුවක් තියෙනවා .හේතුව තමයි මම කියන මිථ්‍යා හැඟීම .මගේ ශරීරය කියන රූපය ඇතුලේ මම කියා කෙනෙකු ඉන්නවා කියන වැරදි මතය ඉවත් කරගන්නා තුරු ඔය දුක නම් නැති කරගන්න බැහැ .මේ මම කියන්නේත් මට රවපු ,බැනපු අය කියන්නේත් ඉතාම දැඩි සීඝ්‍ර වේගයකින් ඇතිවෙවී නැතිවෙවී යන රූපකළාප යන ශක්ති විශේෂයක් පමණක් බව අභිධර්මයේ පැහැදිලි ව සඳන් වෙලා තියෙනවා .සත්වයෙක් ,පුද්ගලයෙක් කියන්නේ වේගයෙන් වෙනස්වෙමින් පවතින රූපකළාප කියන ශක්ති විශේෂයකින් හැදුනු රූප,වේදනා,සංඥා ,සංඛාර ,විඤ්ඤාණ කියන උපාදාන පහක එකතුවක් මිස මම / ඔහු / ඇය කියා වෙනස් නොවෙන ස්ථීර යමක් එහි නොමැති බව තේරුම් ගන්න පුළුවන් නම් හිත හිතා දුක්වෙන්න අවශ්‍ය නැහැ .

ඇහුනොත් ඇහුනා විතරයි ,දැක්කොත් දැක්කා විතරයි ,දැනුනොත් දැනුනා විතරයි .සිතුවිලි මව මවා දුක්වෙන්න එපා.එතනින් ම අතහැරලා දාන්න .දැන් ඔබ ඉන්නේ අර වීදුරු ගෝලය ඇතුලේ .පිටින් එන කිසිම දේකට ඔබව සසල කරන්න දැන් බැහැ . කෙනෙකු ඔබට බැනලා ඔබ ඔබේ සිත රිදවා ගත්තොත් ඔහු දිනනවා.ඔහුගේ අභිප්‍රාය ඔබට රිදවන එකයි.ඔවුන්ට දිනන්න දෙන්නේ මොකටද ? ඔබ පොඩ්ඩක්වත් ගනන් නොගෙන පාඩුවේ ඉන්න .එතකොට පැරදෙන්නේ එයාලා.දිනන්නේ ඔබ.පිටස්තර කිසිම කෙනෙකුට ඔබේ සිතට බලපෑම් කරන්න කිසිවිටෙක ඉඩ දෙන්න එපා .වීදුරු ගෝලය ඇතුලේ ම ඉන්න .

බුදු ,පසේබුදු මහරහත් උතුමන් වහන්සේලා මේ වීදුරු ගෝලයට වඩා ශක්තිමත් ආවරණයක් හදාගන්නවා.ඒ නිරෝධ සම්පත්ති ධ්‍යාන සුවය ලබද්දී පිටින් කිසිම බලපෑමක් නැහැ .වාඩිගෙන සිටින ස්ථානයේ ගින්නක් ඇතිවුනත් රස්නයක්වත් ,දැවීමක්වත් වෙන්නේ නැහැ .බාහිර පරිසරයෙන් සම්පූර්ණයෙන් ම වෙන්වුනාම හරිම සුන්දර ,ශාන්ත , නිරාමිස ප්‍රීතියක් ,සතුටක් ඇතිවෙනවා .ඒ සතුටින් ටිකක්වත් ලබාගන්න මම කියපු වීදුරු ගෝලයෙන් පුළුවන් .

ඒවගේම දුකක් ,කරදරයක් ,නොකල වැරැද්දකට දඬුවමක් ,අහිමිවීමක්,නොලැබීමක් හෝ අපහාසයක් වුනු වෙලාවක කර්ම විපාක ගැන හිතන්න .දහම් තක්සලාවෙන් කර්මය පිළිබඳව මීට පෙර සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කලා. ඒ අනුව තමන් විසින් කල ක්‍රියාවක අනිටු විපාක විඳින්නට වෙන්නේ තමන්ටමයි.මේ මම කරපු පවක් .තවදුරටත් මේක සංසාරයේ ගෙනයන්නේ නැතුව මේ පාප විපාක මේ ආත්ම භවයේදී ම ගෙවලා ඉවරයක් කරගන්නවා කියලා දුක් නොවී උපේක්ෂාවෙන් විඳ දරාගන්න .

නිකෙලෙස් උත්තමයෙකු වූ බුදු හාමුදුරුවන්ට නිරපරාදේ මොනතරම් නින්දා ,අපහාස විඳින්නට වුනා ද ? එවැනි අවස්ථාවලදී අපි නම් නිර්දෝශීභාවය ඔප්පු කරන්නට වෙහෙසෙනවා.කෝලාහල කරනවා.බනිනවා.රණ්ඩු වෙනවා.බුදු හාමුදුරුවෝ කිසිදු වෙනසක් නොමැතිව සුපුරුදු ශාන්ත සුවයෙන් වැඩ සිටියා පමණයි .බොරු චෝදනාකරුවන් පරාජයට පත්වුණා .ආයෙත් මතක් කරනවා වීදුරු ගෝලය.

දුක්ඛ සමුදය ආර්‍ය සත්‍යය ලිපියේ දුකට හේතුව තණ්හාව යන බුදුවදන පිළිබඳව ඔබට විස්තර කලා.එහෙනම් දුක ඇතිවෙන්නේ තණ්හාවෙන් නම් තණ්හාව නැති කලාම අපි ලඟ සතුට නිරන්තරයෙන් ම රඳවාගන්න පුළුවන් .මගේ කෙනෙකුට හානියක් වුනොත් ,මගේ දෙයක් විනාශ වුනොත් විතරයි මට දුක හිතෙන්නේ .වෙන අයෙකු සතු දෙයකට මොනවා වුනත් මට ගැටළුවක් ,දුකක් නැහැ .එහෙනම් මගේ කියන වැරදි ආකල්පය මුළුමනින් ම ඉවත් කර ගත්තොත් තණ්හාවත් ඉවරයි .දුකත් ඉවරයි.සතුටින් ම ඉන්න පුළුවන් .සතුට ලඟ තියාගන්නට අවශ්‍ය නම් තණ්හාව නැති කරගන්න බැරි නම් අඩුකරගන්නවත් වෙනවා.එතකොට සතුට හැමදාම ලඟම ඉන්නවා .

සතුට තියෙන්නේ කොහේද ?. මුදල් ,යාන වාහන ,ඉඩකඩම් , දේපොළ වල ද ? ඒවා තියෙන ධනවතුන් සතුටින් ඉන්නවා වගේ පේනවා.ඒත් ඒ අයගේ ව්‍යාපාර ගැටළු , තරඟකරුවන්ගේ විරුද්ධවාදී කම් , ධනය නැතිවේවිදැයි යන බය නිසා මානසික ව සතුටින් ඉන්න හැකියාවක් නැහැ .බැඳීම ,තණ්හාව වැඩිවෙන තරමට සතුට අඩුයි.දුක වැඩියි.සතුට තියෙන්නේ ඒ හිමිකම් වල නෙමෙයි .සතුට තියෙන්නේ ඔබේ සිතේ.සිදුවීම් දිහා ඔබ බලන ආකාරය ,දරණ ආකල්පය අනුව යි සතුට හෝ දුක ඇතිවෙන්නේ .ආකල්පය නිවැරැදි කරගෙන සතුට ලඟා කරගන්න . බුදු හිමියන් සංඝයාට අනුශාසනා කලේ පියාපත් බර විතරක් තියෙන කුරුල්ලෙකු ලෙස නිදහස් වෙන්න කියලයි.

බුදු දහම දුක ගැන විතරක් කතා කරනවා යන්න වැරදි ආකල්පයක්. කිසිදා ,කිසිම අයුරකින් වෙනස් නොවෙන සතුට තමයි බුදු දහමේ පරම අපේක්ෂාව.ඒ තමයි නිවන.නිවන කියන්නේ අවේදයිත සැපයක්.ඒ කියන්නේ විඳින්නේ නැතුව සිටීමේ සතුට .එතකොට සතුට විතරමයි.

ඔබ මා සමග එකඟ ද ?

ඔබේ වෙනත් අදහසක් තියෙනවා ද ?

දැනගැනීමට කැමතියි.කරුණාකර අදහස් දක්වන්න .

Monday, March 28, 2022

මල් වට්ටියක් -MAL WATTIYAK



හැකි ඉතාම ඉක්මන් භවයක දහම අවබෝධ කරගනිමින් 
මාර්ග ඵල නිවන් අවබෝධ කිරීමට 
මේ පින් කුසල් 
අප සැමටම හේතු වාසනා වේවා

දානයක් දෙන අවස්ථාවක රාගයෙන්, ද්වේශයෙන්, 
මෝහයෙන් තොරව තුන්සිත් පහදවා, 
තමන්ගේ දෝතින්ම සකසා දිය යුතු අතර 
දිය යුත්තේ තමන් ආශා කරන දෙයක් මිස 
එපා වී අහක දමන දෙයක් නොවිය යුතුයි.

බුදුවරු දෙදෙනෙකු අතර කාලය
එනම් බුද්ධාන්තරයක් අවම වශයෙන් මහා කල්ප තිහක්.
මහා කල්පයකට අන්තර් කල්ප 256ක්, 
අන්තර් කල්පයක් කියන්නේ 
මිනිස් වර්ෂ වලින් අසංඛෙයිය 86,40000ක්.
අසංඛෙයියක් කියන්නේ එකයි බිංදු 140ක්, 
ඒ නිසයි බුදු උපතක් මේ තරම් ම අසිරිමත් වෙන්නේ,

බණ පොතක ආදරය ගැන සටහනක් තබන්නේ 
කල්පයක් ආදරය කළ යශෝධරා උත්තමාවිය පිළිබදව 
අසීමිත ගෞරවයෙන් යුතුවයි. ලෝකයේ දීර්ඝතම ආදර කතාවේ, ඒ කියන්නේ සිදුහත් යශෝදරා ආදර කතාවේ....... 

උප ප්‍රධානාචාර්ය, ශ්‍රී චන්දජෝති දහම් පාසල,
 සුනිල් ඊ. ගුණසිරි මහත්මාණන් විසින් රචිත ධර්ම ග්‍ර‍න්ථයකි.


යම් හෙයකින් ඩවුන්ලෝඩ් කරගැනීමට නොහැකිනම්
ප්‍රථමව ඔබගේ G-Mail Address එක ඇතුලත් කර Join This Site වෙත පිවිසෙන්න

ධර්ම දානය උදෙසා මෙය බෙදාහරින්න